෴ "දුර සිටියත් ආලෝක සතවසක් තරු එළියත් මහ පොළවට ඒ නම්...... ඇයි මට නුඔ අහිමි.............."෴

Friday, June 18, 2010

පතන්නෙමි මුළු හදින් සොඳුරු වූ හෙට දිනක්......



නොසිතු ලෙසින් ඇරඹි
මිතු දම,
මටත් නොදැනිම
මසිතට ලංව....,
හස කැන් මා මුව මවමින්,
කඳුල වියැකූ මිතුර නුඹ.....

යලි සිනාසෙන්නට මට,
එකදු පුංචි හසරැල්ලක්,
මා ලඟ ඉතුරු නොම වන ලෙසට....
දුර ඈතට පියමැන්නද,
අහිතක් නොසිතන්නෙමි කිසිදින.....
මන්ද.....
මතකයේ සදා සරමින්,
මා ලොවෙහි කවදත්,
මා ලබැඳි මිතුර නුඹ....

ඉතින් මා නුදුටු මිතුර......
දිවියෙහි නව වසරකට,
පියනගන ඔබහට,
පත්න්නෙමි මුළු හදින්ම....
දුක් කඳුළ ලං නොවුන,
සතුට සොම්නස ඉතිරෙන,
සොඳුරු අනාගතයක්.......


මිතුර නුඹට සුභම සුභ උපන්දිනයක් ......


~~ඔබේ මතකයෙන් ගිලිහුන හා පැටික්කි~~
06-18-2010


මෙය මා විසින් ලියූවද පල කරනවාද නැද්ද යන්න පිළිබද බොහෝසෙයින් සිතුවෙමි. අවසානයේ මෙය පවසාම පල කිරීමට හිත සමග ගිවිසුමක් ගතිමි.

මෙය කියවීමෙන් පසු ඔබට යම් පැනයක් හිතට නැගුනද ඒවාට පිළිතුරු දෙන්නට තරම් මට හැකියාවක් නැති බැවින් පිළිතුරු නොදී ඉන්නට සිදු වුවහොත් දස දහස් වාරයක් සමාවෙන්න..........

Friday, June 11, 2010

හා පැටික්කිගේ වරදක් නොකල අහිංසකී.........



දවස් දෙක තුනක්ම මේ පැත්තකවත් එන්න හැකියාවක් තිබුනේ නැති නිසයි පේන්න නොහිටියේ.....

කලු නංගි මැරුන කියල දැන ගත්තෙ ඊයෙයි මමත්.... මැරිල දවස් දෙකක් වෙනවලු.... ඒත් මෙච්චර දවස ගානේ හොයපු මටවත් අම්මටවත් කවුරුවත් එයා ඉන්න තැනක් කිව්වේ නැහැ.
එයාට බෙහෙත් බොන්න ලැබුනේ දවස් 2ක් විතරයි...... එයා මැරුණට පස්සේ නම් හැමෝම උන සිද්ධිය එයා හිටි තැන් දන්නව මං හොයද්දි මට කියන්න තරම් දන්නැති උනාට.....

එදා රෑ 7ට විතර වෑන් එකකට හැපිල තියෙන්නේ. කෑ ගහද්දි මං අම්මට කලූද කොහෙද කියල කිව්වත් අම්ම එයා පාර අයිනේ තියන මෙට්ටයක් උඩ (එයාට නිදාගන්න විසික් කරපු කොහු මෙට්ටයක් තිබුන )ඉන්නෙ නිසා ඒ ගැන තැකුවේ නැහැ.....

ඒත් වාහනේ හප්පගෙන ගිහින් තියෙන්නේ එයාව. එයා හැප්පිල කාණුවට වැටිල නැගිට ගන්න බැරුව ඉඳල. පස්සේ කොහෙ ගියාද කියල කවුරුත් දැකල නැහැ.

එයා ගැන හොයන කාලේ දන්නැහැ කියපු අයම තමා අම්මට මේ ගැන කියල තියෙන්නේ.... වචනයක් වත් කලින් කිව්වේ නැත්තේ ඇයි කියල හිතාගන්න නම් බැහැ මට.......

බෙහෙත් ගෙනල්ල වේල් දෙකක් විතරයි එයා බොන්න හිටියේ පස්සේ ආයෙමත් කොහෙ ගියාද නැති උනා..... ඊයේ අපිට එහා ගෙදර ඇන්ටිගෙන් මම ඇහුවම තමා ඔන්න කිව්වේ පෙරේද අපේ පාරට එහා පාරේ මැරිල හිටිය කියල.....

මං එයාට කන්න දෙනවගත් එයා ගැන හොයන වගත් හොඳටම දන්න අයගෙන් කලින් ඇහුවම දන්නැහැ කියන්නත් දැක්කේ නැහැ කියන්නත් පස්සේ විස්තරේ කියන්නත් හේතුව මම දන්නැහැ. නොකා නොබී නැගිට ගන්න පන නැතුව හිටි සතාටත් හිතක් පපුවක් නැතුව ගහල පැන්නුවේ පස්ස පණ නැති වෙන ලෙඩේ හැදිල කියල. එයාව පණ පිටින් නොමරා මැරීම තමයි වැඩි දෙනෙක් කලේ......

ආයේ කවදාවත් එයාටවත් වෙන සතෙකුටවත් මෙහෙම දුකක් නම් වෙන්න එපා......!!!!

එයාට ලබන ආත්මෙවත් හොඳ තැනක උපදින්න ලැබෙන්න ඕන.......!!!!
මේ හිත් පිත් නැති මනුස්සයන් ලඟ නම් ඉපදෙන්න එපා කවදාවත්....

මං මේ ගැන හෙවිල්ලෙන් හිටපු නිසයි මේ දේවල් කියන්න දන්නේ ඒත් අපි හැමෝටම නොපෙනෙන්න වරදක් නොකර මේ වගේ විඳවන සත්තු කොච්චර නම් ඇත්ද....... සමහර විට අපි කරපු වැරදි වලින්ම විදවන සත්තුත්....... ඒ කාටවත් ඔය කවුරුවත් අනෙක් හිත් පිත් නැති අය සළකන විදියට සළකන්න නම් එපා...... මේ මගේ පුංචි ඉල්ලීමක් මේක කියවන හැමෝගෙන්ම කරන පුංචිම පුංචි ආයාචනයක්...................

Saturday, June 5, 2010

හා පැටික්කිගේ වරදක් නොකල අහිංසකී.........




"දූ අන්න කලූ ඉන්නවා......"
අම්ම මේක කියද්දි මගේ හිතට ආවේ පුදුම සතුටක්....... ඒත් ගියාම දැකපු දේ නිසා හිතට ආපු දුක නම් කියල නිම කරන්න බැහැ. ඒකයි මේ ගැන ලියන්න හිතුවේ...........

..................................................................................................................

කලූ....... ඒ වෙන කවුරුත් නෙමෙයි වංගුවේ කඩේ අක්ක කිව්වේ දවසක් උදේක පෙට්ටියක දමල පෙට්ටියත් වහල ගෙනත් දමල ගිය බලු පැටවු දෙන්න ගෙන් එක්කෙනෙක්.......

හරියටම ගියවර උසස්පෙළ ප්‍රථිඵල ආපු දවසට පස්සෙන්ද මං Chemistry ක්ලාස් ගිය සර් එන්න කිව්ව ඒ මං ආයේ විභාගේ කරන්නෑ කිව්ව නිසා.... ගිහින් එද්දි අම්මගෙන් රුපියල් 30ක් ඉල්ලන් මන්චි චොක්ලට් මාරි එකක් ගත්ත මට කන්න නම් නෙමෙයි. පාරේ මුණ ගැහුන හැම බල්ලටම බිස්කට් 1ක් ගානේ විතර දුන්න...
එදා අන්තිමට ගෙදර ලඟට එද්දි ඉතුරු වෙලා තිබුන බිස්කට් 2යි. ඒත් හන්දියේ හිටි කලු බල්ලව දැක්කම ගෙදර බල්ලට 1ක් තියන් අනිත් එක එයාට දුන්න. ඒත් වෙන එක බල්ලෙක් වගේ වත් නෙමෙයි එයා තවත් ඉල්ලන් පස්සෙන් ආවේ නෑ......

ඒක නිසාමද මංද එදා ඉඳන් මම එයාට හැමදාම අපේ බල්ලට දෙන කෑම එකෙන් ටිකක් වේල් 2ක් වත් ගෙනිහින් දුන්න. අම්ම මුකුත් නොකිව්වත් තාත්ත මුලදි ටිකක් බැන්න ඒත් පස්සේ මං සත්තුන්ට කරන දේවල් නවත්වන්නැති බව දන්න නිසාද කොහෙද තාත්තත් මුකුත්ම කිව්වේ නැහැ.
..........................................................................................................................

එයා කලු නිසා මං එයාට කතා කරේ කලු නංගි කියල. එයා නංගියෙක් ....

එදා ඉඳන් හැමදාමත් එයා කතාකරාම ගේට්ටුව ලඟට ඇවිත් දෙන බත් ටික කෑවා..... ගෙදර දඩෝරිය වගේ නෙමෙයි එක කරපිංච කොලයක්වත් ඉතිරි නොවෙන්න කනව. එක බත් ඇටයක් කන්න දෙන කොලෙන් බිමට හලන්නැහැ. කොනෙන් කොනෙන් හරිම පිළිවෙලකට කනව. මට බැරි උනොත් අම්ම හරි එයාට බත් ගෙනිහින් දෙනව. අහල පහල අයට මුලදි මේක රිස්සුවේ නැහැ. අනුන්ගේ වැරදිවලටත් මගේ අහිංසකීව පැටලුවා. ඒත් මං වත් අම්මවත් එයාට කන්න දෙන එක නැවැත්තුවේ නැති නිසා අනෙක් අයත් පුලුවන් දවසට පාරේ ඉන්න බල්ලන්ට පුලුවන් විදියට ඉතුරු උන කෑම ටික හරි අනල දෙන්න පටන්ගත්ත.

කලූට පැටවු හම්බුනාම එයා ටික දවසක් ආවේ නැතත් ආපු පළවෙනිදවසේ මගේ සායෙන් අදිනව දැකල ඉස්සරහ ගෙදර ඇන්ටි කිව්ව" ඔන්න සබන් පවුඩර් අරන් යන්න වෙයි" කියල. එයාට ලස්සන බලු පැටවු 4ක් හම්බවෙලා තිබුන. ඒත් ඒ ඔක්කොම බලු පැටවු නිසා එක එක්කෙනා ගෙනිච්ච. අන්තිමට එයා ආයෙත් තනියම........

ඒත් එයා හැමදාමත් කන්න කතාකරාම ඇවිත් කාල යනව. ඒත් සති 3කින් විතර එයා පේන්න නොහිටි නිසා අම්මයි මායි දන්න හැමෝගෙන්ම අහ අහ හෙව්ව ඒත් කවුරුවත් දැකල තිබුනේ නැහැ. කෙනෙක් කිව්ව බල්ලෙක් කෝච්චියට හැපිල හිටිය කියල ඒත් පස්සේ කිව්ව ඒ බල්ලෙක් කියල.

කොච්චර හෙව්වත් ආවේ නැති නිසා අපි හිතුවේ වෙන කොහේදි හරි මැරිලවත්ද දන්නෑ කියල. බල්ලෝ කන්න දීපු අයට පේන්න මැරෙන්නෑ කියන නිසයි එහෙම හිතුවේ.

ඒත් අම්ම අද පාසල් ගිහින් ආපු ගමන් කලූ ඉන්නව කිව්ව නිසා පන්ති යන්න ලේස්තිවෙලා හිටපු මමයි අම්මයි ගියා කලූව බලන්න...... අනේ ඇට පෑදිල හොඳටම. අම්ම ලඟ ඒ වෙලේ පාසලේදි උපන්දිනයකට දුන්න කේක් කෑල්ලක් තිබුන නිසා ඒක දුන්න. එක කටට ගිලදැම්ම. අනේ පවු........

ඒත් මේ අහිංසකය මෙච්චරකල් කොහෙද ගියේ මං ටිකක් ලං වෙල බලද්දියි දැක්කේ....... අනේ අපොයි නීතිගරුක රියදුරු මහත්මයෙක් කල හදියක් අතේ ගැඹුරට ගියපු තුවාලයක්. පස්සේ කකුල් දෙකටත් පනක් නැහැ. තුවාලෙන් ලේ ගලනව තාම.(මං හිතන්නේ ඇවිදින්න පුලුවන් උන ගමන් එයා ඇවිත් තියෙන්නේ......)

අනේ දවල්ටයි රෑටයි කන්න දුන්න කන්න හිටගෙන ඉන්නතරම්වත් බැහැ. ඇවිදින්නේ අඩි දෙකක් ගිහින් ටිකක් වාඩි වෙනව ආයේ යනවා..... බලන් ඉන්න පුලුවන්ද මෙච්චර දවස් වත්ත ඇතුලෙ නොවුනත් කන්න බොන්න දීල හුරතල් කරපු අහිංසකී......

මනුස්සයෙක්ගේ අතක් හීරුනත් රියදුරාට අල්ලන් ගහන ලංකාවේ මේ සත්තු කොච්චර නම් හප්පන් යනවද..... ඒ අයත් වැරදි කරනව තමයි ඒත් ඒ අය සත්තු හන්දද පැත්තවත් නොබලන්නේ?????

මට මේක කියන්න ඕන උනේ වෙන කිසිදෙයක් නිසා නෙමෙයි අනේ මේක කියවන ඔයාලවත් වාහන එලවද්දි ටිකක් මනුස්ස ජීවිත ගැන වගේම සත්ව ජීවිත් ගැනත් හිතන්න. ඒ අය පාරවල් ගානේ ගෙනත් දානෙත් මිනිස්සුමයි නැතුව පාරට බල්ලො නිකන් බෝවෙන්නැහැ.

ටිකක් හිතල බලන්න කීදෙනෙක් ගෙදර ඉතුරුවෙන බත් කටක් උනත් විසික් කරන හැටි. ඒක මේ අහිංසක සතෙක්ට දුන්න නම් ඒ අයගේ කුසගින්නෙන් ටිකක් හරි නිවෙනව. ඔයගොල්ලො කියයි කන්න නැති මිනිස්සු කොච්චරනම් ඉන්නවද කියල. ඒත් ඒ අයට අපි කාල ඉතුරු කරපුව දෙන්න බැහැනේ. ඒත් මේ අයට ඒකත් රාජ බෝජන වගෙයි නේද?????? කාටවත් නැතිවෙන්න කුනු බාල්දියකක දමනවට වඩා කාගෙම හරි බඩ පිරෙනව නේද??????

ඒ වගේම ටිකක් පරිස්සමෙන් රියපදවන්න සත්තු කියල අයින් නොවුනම හප්පන් යන්න, දැක්කේ නෑ වගේ හප්පන් යන්න එපා....... තමන්ගේ ජීවිතේටත් මරු කැඳවන වේගෙන් ඉගිලෙන්න එපා......

ඒ සතෙක්ගේ දෑසෙන් බේරෙන දුකත්, වේදනාවත් ටිකක් වෙලා ඒ අය දිහා බලන් හිටියොත් ඔයාලටත් පෙනේවි.අඩන්නේ මිනිස්සු විතරක් නෙමෙයි හිනාවෙන්න දන්නේත් මිනිස්සු විතරක්ම නෙමෙයි........ දඩාවතේ යන බල්ලො කියල ගහල පන්න ගන්න කලින් මේ ගැනත් ටිකක් හිතන්න. මනුස්සයෙක්ගේ දුකට පිහිට වෙනව වගේම ඒ අයටත් උදවු වෙන්න. එක ජීවිතයක් හරි බේරගන්න. මේ දේවල් පින් බලාගෙන නොකරත් හැමදාටම ඒ පිනත් ඔයාල ලඟ ඉතුරු වේවි.........


Wednesday, June 2, 2010

ඉතින් පියවර මැනිමි.........



සතුට සොයමින් ගලා ගිය
මා දිවිය සැනෙකින්
ගොලු වෙමින් නතර විය
ඔබ කිවූ වදනින්.......

ඔබ සිහින මල් බරව
මා සිහින බොඳ වෙමින්
ඔබ පැතූ ලොව ඉතින්
ඔබ සොයා ආ සඳ
එක් සිත්ව සුභ පැතිමි
හදින් මා වැලපුනද.....

නේක මා මැවු සිහින
තුරුලු කර කඳුලැල්ද
ඔබ වටා මැවු ලොවෙන්
ඉතින් පියවර මැනිමි ඉවතට.........



....~~ඔබේ මතකයෙන් ගිලිහුන හා පැටික්කි~~....

සිතට වද දෙන දින මතකයන් වෙනුවෙන් 02.06.2010 ලිවූයෙමි.....